හීන

8 දැනට තැබූ සටහන්

හීන,
හැමදාමත් සිතින් දැකපු හීන,
මම තනියම, මගෙ තනියට,
මම ම තනපු හීන,
මගේ හිතට, මගේ අතින් පාට තැවරු හීන.
නුඹත් ඇවිත්,
නුඹේ අතින් පාට කරපු හීන,
නුඹෙත් මගෙත් එකට ඇඳුන ඇඳෙන,
අපේ පුංචි හීන.

එකක් දෙකක්,
තවත් ටිකක් අඳින මකන හීන,
එකෙන් දෙකෙන් මහා ගොඩක්,
ඇති වුනි මට හීන,
නුඹෙත් නුඹේ පුංචි හිතෙන් දැක්ක,
දකින හීන,
එක තිරයක,
එක යායක තවත් අඳිමු හීන.
නුඹේ සිනහ මල් පිපියන්,
මටම පෙනෙන හීන.

සප්ත වර්ණ රේඛාව

3 දැනට තැබූ සටහන්

සප්ත වර්ණ රේඛාව,
අහස් ගැබ මතින් ඇඳෙනු දැක මම,
වැටුනු මහ වරුසාව අමතකව,
තෙත් පොළව ගැන නොසිත,
මඩ කඩිති නොතකමින්,
දිවයමින් ඒ දෙසට...
සිටි පොළොව නැති ලෙසක,
සිත මා අහසට වන්න,
දුර යන්න දුර යන්න,
දුව යන්න දුව යන්න,
ඒ මා දුටු රේඛාව තවත් ඈතට වන්න,
මිරිඟුවක් පසුපසින් දුවන මුවෙක් වැන්න...

හැඩ

2 දැනට තැබූ සටහන්

සුදු පිටු අතර,
ඔබ මැව් රටා එකිනෙක,
අකුරු වචන පසෙකලා,
පිකාසෝට හපන් සිතුවමක්,
ආන්ජෙලෝට හපන් ඇඹුමක්,
මෙලොව පසෙකලා මසිත,
ඔබ ලිවු පද අතර තනිවෙලා අද,
අරුත පසෙකලා සිතෙහි ඇඳි හැඩතල,
වරක් දෙවරක්,
නැහැ සියවරක් මා නෙත් ගෑටුවෙමි,
දකින්නට මම, ඔබේ නෙතු වලින්,
හැඟුනි මට, ජීවිතය,
හැඩ කලා ඔබ.
පෙම් කලා මම.

දිය බිංදු

6 දැනට තැබූ සටහන්

දිය බිඳකට හඬ නැගුවලු,
රැකෙන්නට,
පණ තියාගන්නට,
පොළවෙ හැපුනලු මළ කඳක්,
එකක්,
දෙකක්,
තුනක්...
දිය බිඳ වෙනුවට ලේ බිඳක් ලැබුනලු,
තෙමන්නට උන්ගෙ පිපාසය,
හැඬුවලු,
මොර දිදී හැඬුවලු,
ගැලූ කඳුලද පොලවට,
දිය බිඳ හැර රතු ලේ බිඳු,
හැඬූ උන්ගෙ කඳුළු බින්දු,
බලා උන්නුන්ගෙ සෝ සුසුම්,
දරා උන්නලු ඒ මහ පොළොව,
තාම හොයනවලු,
දිය බිංදු...

සුවඳ දුම

1 දැනට තැබූ සටහන්

දැවී අළු වැටෙන,
සුළඟට සේදී යන,
වරක සුවඳ දුන්,
සුවඳදුම් තුඩක අග,
නෙතු මා දැවටී,
නොහැඟෙන ලෙස අවට,
බලා හිඳිමි,
වැටෙන අළු පිසලන,
මාරුතය,
පරව ගිය මල් පෙතිද,
පිස දමමින් වැලි තලය,
දැවුනු අළු සඟවා ගති,
නොපෙනෙන්නට,
ඊළඟ සුවඳ දුමට,
ඉඩදෙන්නට....

ආවාටය

4 දැනට තැබූ සටහන්

සඳ දෙස බලා හුන්නෙමි,
මා සඳ නම්...
කැළැල් මගෙ මතක වෙන්නැති,
සඳට බට ඔබ,
ඇහිඳන් ගිය මතක පොදි...
හ්ම්ම්...
සලකුණක් පමණි මට ඉතිරි වූ,
නැවත දුර ගිය ඔබ,
පසලොස්වකට මා දිහා බලා,
හිනාවෙන්නැති..
ඔව්, අමාවකවත් මට ඇති,
ඔබෙන් ලැබූ ආවාටය අතගා,
තනිව කඳුලක් හෙලන්නට...

ප්‍රේමය

4 දැනට තැබූ සටහන්

ඔබ මට ප්‍රේම කරනවාද?
සුසුමක් හෙළූ ඔහු ඈ දෙනෙත් තුල අයා,
සොඳුර,
ප්‍රේමය යන්න,
වචනය මා නොදනී,
අර්ථය මා නොහඳුනයි,
කියාදෙන්නට කිසිවකු නොදනී..
එසේනම්, කෙසේ කරම් මම නුඹට ප්‍රේමය?
කියාදෙන්නට වදන් නැති මෙය,
ලියන්නට කවියන් වෙර දැරූ එය,
සිතාගන්නට සිත නැතුව නොව,
පතන්නට මට, හිතන්නට මට,
ඉඩක් ඇත්දැයි තවම සොයමි මම...
අරුත වටහා ගත් දිනක,
ඔබටත්, මටත්, ලොවටත් කියන්නට,
තවමත් සොයමි මම,
කුමක්දැයි මේ,
ප්‍රේමය...

පෙම

2 දැනට තැබූ සටහන්

රල පතර පෙන කැටිති,
විසිරි සිරි ඇතිරු හැටි,
ඔබෙ සහස ලඟ නැවති,
මියුරු මුදු පෙම් සුවකි...

අහස් කුස ගැබ්බරයි,
සිතිජ ඉම වෙත දුවයි,
ඔබෙ හිතත් මා රැගෙන,
අනන්තය වෙත දුවයි..

ලිහිණියකු රැගෙන එන,
වෙරළ මත ඇඳෙන එම,
රහස මට කියනු කිම,
සිනහවෙන් ඔබ වසන..

ළමැද හොවා මා වතම,
ඇඳී පෙම් කවි දහස,
ඔබ ලඟම තව රැඳෙන,
තව දිනක් මම සොයන...

පිනි බිඳ

1 දැනට තැබූ සටහන්

පිනි බිඳක්,
අහසින් වැටෙනා, පිනි බිඳක්,
තනපතක් අග රැඳි පිනිබිඳක්,
දැවෙන පොළව නිවුමට වැර දරන,
පිනි බිඳක්,
අහසට පොලොවට බට,
හිරු රැස් මැද නැවතත් අහසට හිමිවන හැඩ,
යන මඟ ඇතිකරමින් ඒ ඉන්ද්‍රචාපය,
පිනි බිඳ,
අයිති අහසට යන්න,
පොලොව අද ඔබට දුර යැයි නොහැඟෙන්න..

ආන්යා

8 දැනට තැබූ සටහන්

වෙහෙසකර දිනයකට නිමක් දෙන්නට, පුරුදු ලෙස මා ගාලු කොටුව දෙස ඇදුනි.. හැන්දෑවට කොටුවට එකවන් පෙම්වතුන්ට ඉඩක් නොදෙන්නදෝ හෝ, සුළඟ දැඩි වී, අහස අඳුරු වෙනු මට පෙනුනි. "කමක් නැහැ, තෙමෙන්නට පෙර ලංවෙන්න පුළුවන් වේවි.." මටම කියාගනිමින්, ඉක්මනින් වටරවුම පසු කරමින් කොටුව වෙත ඇදුනි.


ඉදිරියට »

සහස

5 දැනට තැබූ සටහන්

මතක මාවත දෙස හැරී බලමි,
ආ උන් ගැන,
ගිය උන් ගැන...
ඔබ ආ දින...
මල් පිපුනු ඒ මාවත දිගේ,
අදත් හෙමින් අඩිය තබමි,
පයට පෑගෙන වියැලි අතුමෙනි,
ඔබේ මතක.. අද එකිනෙක වියැලන...
මතකය ඉතිරිකර ගිය ඔබ,
සිහිනයක් දෝ එය හැඟෙයි මට,
ඔබ වත මා පපුතුරු සැඟවූ එදවස,
සිහිනයක්දෝ තවත් සොයමි මම...
පෑ සිනහ මල් නෙකතර,
කොබෝ ලීල පීදුනි එදවස,
දකිනට වරක් එම දසුන,
හැරෙමි, බලා හිඳිමි,
ඔබ මා හා හිනැහුනු,
ඒ දසුන... ඔබ සහස....

රඟන්නී ඈ...

10 දැනට තැබූ සටහන්

විහිදීය ඈ තාලයට පාද පොඩි,
සුළඟ හා පොර බදමින්,
සංගීත ස්වරයක වෙලෙමින්,
ලොවක බර මොහොතකට අමතක කරමින්...
අරුත සොයන ජීවිතයට,
නිමක් නොපෙනෙන, තෙරක් නොදැනෙන,
ගමනක එක නිවහනක්යැයි සිතමින්,
දුටු දෙනෙත් වසඟයට ගනිමින්,
සවන් යොමු කර වැයෙන තාලයට,
නටත් ඈ ලොවම ඉදිරියෙන්,
නැත සිතේ එකදු බැඳුමක වගක්,
සොයන්නට කෙනෙක්?
ඈ කවුද?
කසුකුසුව වැඩිවෙත්ම හැරී බලත් ඈ ඔවුන් දෙස,
මාත් ඔබමය, ඔබේ දුවමය, ඔබේ ප්‍රියාවියමය,
අද මට මගෙන් අවසර ලැබුනි, මා හටම මොහොතකට,
මොහොතක මිදෙන්නට, මට මගෙන් මිදෙන්නට...
සංගීතය... මේ සොඳුරු නැටුම පියාපත් දුනි මා හට...
මිදෙන්න, වරකට හෝ.. ඔබෙන්...
ගයන්න ගීයක්, ලියන්න කවියක්, රඟන්න රැඟුමක්...
හඬ ගෑය ඈ... බලා සිටි, මුව අයා සිටි ඔවුන් දෙස...

සිත් පවුරු

6 දැනට තැබූ සටහන්

රේඛා සටහන් එකිනෙක ඇඳිනි,
සිත් පවුර මත,
ඔබ අතින්, මා අතින්,
ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා,
නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන,
හිරු කිරණක් මෙන්,
වර්ණ විහිදීය,
මා හද පුරා,
ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්,
සිහිනෙන් හෝ ඔබ දැකගන්නට,
සරමි නෙතු අයා,
දක්නා සෑම නෙතු සඟලතර,
සෙවීමි ඔබ දෙනයන ,
තවත් වරක් දැක ගන්නට,
රැඳෙන්නට,
සැනහෙන්නට,
ඒ මතකයට සමුදෙන්නට,
මා හද පවුරු බිඳලූ විජ්ජුලතා,
මාළිගය අතැර යන්නට,
පවුර බිඳලන්නට කාලයයි...

හද උමතුවෙන්

2 දැනට තැබූ සටහන්

 හිතට හොරා කොහෙදින් ඇවිදින්,
ලඟට වෙලා කියනා කියුමන්,
නෙතඟ බලා හිඳ පෙම් හැඟුම්,
දුරකට වෙන්නට බෑ අදනම්...

කෝළ බැලුම් නුඹ හදහි දරා,
මසිත සරා නුඹ උමතු වෙලා,
නඟන සිනා වැල් දෝරෙ ගලා,
ඔබ මගෙමැයි යැයි මට හැඟුනා...

වස්සානේ පිනි පොද මැදින්,
කැටි කරන් එන මල් හැඟුම්,
ලපළු තුරු වියනටින්,
ඇවිද යන්න ඔබ හිත අරන්,
මතුකරන් අද හැඟුම්...
මා ඔබෙයි හද උමතුවෙන්...

ගොළු හදවතක්

4 දැනට තැබූ සටහන්

සිත අවදිවේදැයි නොහැඟෙන යාමයේ,
නෙතු මානයේ මතක් වැල් ඇඳුනාවේ,
ඔබ නොපිපුනු මෙ රාත්‍රියේ,
කුමුදු මල් නොපිපුනාවේ...

ඇඳෙන සිත්තම් එකිනෙක බලා,
ඔබ හිනැහුනා මතකයි,
මැකුන සිත්තම් කඳුළු කැට යට,
සුසුමක් හෙළුවා මතකයි.
නැඟෙන සෝ ගිනි මකා හරිනට,
පියැඹුවා මතකයි....

මලේ අද නුඹ කොයිද සොයම්,
සිහිනයක වෙලි සොඳුරු නෙතු සිතුවම්,
ප්‍රේමයේ හසරැල්,
නොහඳුනන ගොළු හදවතක් අද...
නොමැතිදැයි ගැයුමන්..
සියොතුනේ අද නොමැතිදැයි ගැයුමන්.....

යන්න

6 දැනට තැබූ සටහන්

කතරට ලංවූ සිත,
වෙහෙස දරනට අරන් බර කරට,
මඟ වැරදුන සමනලියක තටු සිඳුනි මෙලෙක තැන,
අපා දුක් විඳ, යනෙන මඟ නොදැන,
යන්නට වූ තැන කොතැන,
උපන් බිම හැර ඔබට...

වරද කොතැනද,
සෙව්වද අද ඈ නැත...
කන්නලව් කල දෙවියන් ඉදිරිපිට,
අසරණ වුනි ඈ අද...
යනෙන මඟ රැකුමට,
සිටින උන් කෝ කොහිද?

යන තැනෙක සුපිපි මලක් වෙන්න,
දකින තැන සැපවත් කරන්න,
යනෙන තැන ඔබට සුව එන්න,
රිසානා, සොයුරියේ අද ඔබ යන්න....

සිද්ධියේ මුදුනට