වෙහෙසකර දිනයකට නිමක් දෙන්නට, පුරුදු ලෙස මා ගාලු කොටුව දෙස ඇදුනි.. හැන්දෑවට කොටුවට එකවන් පෙම්වතුන්ට ඉඩක් නොදෙන්නදෝ හෝ, සුළඟ දැඩි වී, අහස අඳුරු වෙනු මට පෙනුනි. "කමක් නැහැ, තෙමෙන්නට පෙර ලංවෙන්න පුළුවන් වේවි.." මටම කියාගනිමින්, ඉක්මනින් වටරවුම පසු කරමින් කොටුව වෙත ඇදුනි.
හැමදාමත් මෙන්, අදත් විදේශිකයන් එහි මෙහි යමින්, සිනාසෙමින් සැරිසරනු දක්නට ලැබිනි. "මේකත් දැන් හෙමින් හෙමින් සුද්දටම ගියා.. සුද්දම හැදුව එකනෙ... හ්ම්ම්.." සිතමින්, ඔරලෝසු කණුව අද්දරින් කොටුව මත්තට විය. ලඟ තිබූ ගල් බංකුවක් මත වාඩි වූ මට මුහුදු සුළඟත් සමඟ, දවසේ විඩාව, ගමන් මහන්සිය, සුළඟේ පාව යනු හැඟිනි.
වෙනදා ගොම්මන ලංවත්ම මෙහි ඇදෙන පෙම්වතුන් අද පෙනෙන්නට නැත. කොටුව පාළුවට ගිහින් යැයි දැනුනි, සුසුමක් හෙලන්නාක් මෙන් මන්ද මාරුතයක් කොටුව පිසගෙන ගාලු නගරය වෙත ඇදුනි. ඈත සිතිජය දෙස බලා සිටි මට, මුහුද කරා ඇදෙන අකුණු සැරක් එහි මඟ අඳුරු අහසෙහි රඳනවා පෙනුනි. මහා වැස්සක් අත ලඟ යැයි හැඟුනද, මේ නිස්කලංක පරිසරය, මුහුද හෙමින් හමාගෙන යමින් නංවන හඬ මා සිත අඩපණ කලාක් මෙන් හැඟිනි.
නැඟෙන රළ හඬත්, මාරුතයේ සොම්නසත් සමඟ කොටුවෙහි එහා ඉමට මා ඇදෙන්නාක් මෙන් දැනුනි. සිතන්නටත් පෙර, මා කොටුව දිගේ ඇවිද ගියෙමි. සෙමෙන්, පෙරලෙන රළට සවන්දෙමින්, ඇවිද ගියෙමි. කෙමෙන් අඳුරට බිලිවන ගාලු කොටුවත්, ඈත සිතිජය දෙස දෑස් අයා සිටින ප්‍රදීපාගාරයත් පමණක් මා සිත රැඳිනි. අඳුරත් සමඟ පහන් කණු එකිනෙක දැල්විනි. මග අවසන් වී කොටුවෙහි අනෙක් ඉම වෙත මා පැමිණ ඇත යැයි ටික වේලාවකින් මට හැඟුනි. රළ බිඳෙන හඬත්, මාරුතයත් අතර මා තනි වීමි. මොහොතකට මුළු ලොවම අමතක වුනි, මම, මා, මගේ යැයි හැඟීම් මිදිනි.
"....මේ වෙලාවේ තනියම?" සිහින් කටහඬක් මා සවන් වැකුනි. ඇසුනු හඬට පිළිතුරක් තනා ගන්නට තැත් කරන අතර මා සෙමෙන් ඒ දෙස හැරුනි. "...වැඩ ඉවරවෙලා හැමදාම වගේ මම එනවා, අද ටිකක් වැඩියෙන් හිටියා.." මාගේ ඒ පිළිතුර ලබා ගැනුමට සොඳුරු සිනාවක් මුවඟ රඳවාගත් තැනැත්තියක් මා වෙත ඈස් අයා හුන්නාය. තවත් කෙටි සිනහවකින් මා හට සංග්‍රහ කල ඈ සිතිජ ඉම දෙස දෑස් හෙලුවාය. යමක් සොයන්නාක් මෙන්, ඈත බලා සිටි ඈ සෙමෙන් ගීයක තාලයක් මුමුණන්නට විය. පරිසරයෙන් නැඟෙන සංගීතයට පද වැලක් ඇමිනුවා මෙන් ඇගේ හඬ මනාව සුළඟට එක් විය.
"...මම ආන්යා.." මා ඈ දෙසම බලා සිටි වග ඈ හට වැටහෙන්නට ඇත. "ලස්සන නමක්, මම ආකාශ්.." වචන අතර පැටලෙමින් පැවසීමි. මා එය පැවසූ ආකාරයට ඈ සෙමෙන් සිනාසුනි. "ආකාශ්, අහස... තාම මේ අහසෙ දම් පාටක් තියෙනවා.."යි කියමින් ඈ ඈතට අත පෑවාය. ඒ දෙස දෑස හෙලත්ම, ඈගේ දිගු කර හුන් අත වෙත මා දෑස ලංවුනි. ඒ දෙස බලා, මොහොතකින් නැවතත් ඈ වත දෙස ඇස් හෙලූ මා හට, ඇගේ සුන්දරත්වය වැටහිනි. පැහැපත්, සොඳුරු ඒ වත, සිහින් නෙත් යුගලකින් අලංකෘත විය. සෙමින් යමක් මිමිනූ ඈ මුවඟ සිප ගන්නට තරම් ආශාවක් සිතඟ ඇතිවින.
"...ඇයි ඔයා තනියම?" නිහඬබව බිඳින්නටත් මෙන් මම ඇසීමි. සෙමෙන් සිනාසුනු ඈ, "තනිකමට මම ආසයි. දැන් මම පුරුදු වෙලා.." යැයි හඬ නැගීය. ඒ වදන් පෙලත් සමඟ මෑ ඈ දෙස නැවත වරක් නෙත් හෙලීමි. කෙමෙන් නැඟ එන චන්ද්‍ර කාන්තිය හමුවේ ඈ රුව තවත් ඔප් නැංවී යැයි මට හැඟිනි. සිහිනයෙන් මෙන් ඈ සිනාසෙනු මා සවනත වැකුනි. "ඇයි හිනාවෙන්නෙ?" මා ඇසීමි. මුවඟින් සිනහවක් පෑ ඈ, "ඔයා ආ වෙලාවෙ ඉඳන් මං දිහානෙ බලන් ඉන්නෙ, මුහුද බලන්නෙ, වටපිටාව බලන්නෙ නැද්ද?" යැයි ඈ සිනහව අතරින්ම තෙපලීය. ඇගේ ඒ වදන් සමඟ මා කම්මුල් රත්වූවාක් මෙන් මට හැඟිනි. යලිත් වරක් සිනාසුනු ඈ, "ලැජ්ජ වෙන්න දෙයක් නැහැ ආකාශ්..." මා නෙත් දෙසම ඈ නෙත් හෙලාගෙන පැවසීය. "මම.. ඔව්... ඔයා ලස්සනයි ආන්යා, මේ හඳ එළියට තවත් වැඩිවෙනවා..." තතනමින් මම වචන ගැලපීමි.
තවත් වරක් සෙමෙන් සිනාසුනු ඈ, සෙමෙන් මාගේ සුරත ඈ අත් මත හොවාගත්තාය. ඒ මොහොතෙහි ඇතිවූ හැඟීමට හෝ පරිසරයෙහි සිසිලස නිසා, ඈගේ අත් ඉතා සිනිඳු එමෙන්ම, හිම මෙන් සීතලයැයි මට හැඟුනි. කෙමෙන් මට ලංවූ ඈගේ සුසුම් මා පපුවෙහි වැදෙන්නාක් මෙන් මට හැඟුනි. "ආකාශ්, ඔයාගෙ තනිකම මමත් දන්නවා..." ඈ සෙමෙන් මිමිණිය. "...පාළුව?" මා මුවඟින් එය පිටවත්ම, නැවතත් මුහුද දෙස නෙත් යොමා ගත් ඈ, "ඔව්, පාළුව, කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්න එක, ඒ හිස්තැන් කවදා හෝ පිරෙවියැයි සිතන් ඉන්න එක... දකින දකින් හැම මුහුණක් අතරම, ඒ පාළුව මකාලන්නට කෙනෙක් හොයන එක... ඔව්... මම ඒ පාළුව දන්නවා...." ඈ ඇගේ කිංකිණි නාදයෙන් පැවසීය.
"...ඒත්, ඇයි එහෙම හිතුනෙ එකපාරම ඔයාට?" මාගෙ එම ප්‍රශ්ණයට පිළිතුරක් දෙන්නට පෙර, මා දෙස යලිත් නෙත් හෙළු ඈ, "මම හැමදාම ඔයාව දකිනවා ආකාශ්, හැමදාම තනියම එනවා.. තනියම යනවා. ජීවිතෙන් දෙයක් ඉල්ලන්න වගේ, ඈත බලන් ඉන්නවා, මෙතනට එනගොඩක් අයගෙ ඇස් මම දකිනවා. ඒත් ඒ එක ඇහැකවත් නැති හැඟීමක්, පාළුවක් ඔයාගෙ ඇස්වල මම හැමදාම දකිනවා..." සෙමෙන් මා හට කියන්නට විය. තෙරක් නොපෙනෙන මහ සයුරත්, වෙනත් කිසිවකු ඇස නොඟැටෙන මානයකත් සිටි මා හට, මේ වදන්වල දුකක් තැවරී ඇති ලෙස හැඟිනි. "..හැමදාම මම කොටුවට එනවා, ඒත් මම ඔයාව අදමනෙ දැක්කෙ.." ඈගෙ සිත වෙන අතකට හරවන්නටත් සිතාගෙන මා ඇසීමි.
සෙමෙන් සිනාසුනු ඈ, "මම අඳුරට ආසයි, මේ හරියට එන්නෙ කළුවර උනාම, ඔයා හැමදාම මීට කලින් යනවා." අඩියක් මගෙන් ඈතට වී, "හැමදාමත් බලන් හිටියා ඔයාට කතා කරන්න, අද තමයි ඉඩක් ලැබුනෙ..." යැයි පැවසීය. "ආකාශ්, ඔයා හොයන කෙනා ඉක්මනටම ඔයාට හම්බවේවි. ඔයගෙ හිත නිදහස්, ඒ හිතට පාවෙන්න දෙන්න.." ඈ මුමුනනු මා අසා සිටීමි. "ඔයා කොහොමද ඔහොම කියන්නෙ? මං ගැන දන්නෙ කොහොමද?" සිතෙහි නැඟෙන් නෙක ප්‍රශ්ණ විසඳා ගැනීමට මෙන් මා ඇසීමි.
"ඒ ප්‍රශ්ණෙට උත්තර දෙන්න බැහැ ආකාශ්... දැන් මට යන්න වෙලාවත් හරි.." කළබලයෙන් මෙන් ඈ පැවසීය. "ඇයි මේ එක පාරම? ඇයි උත්තර දෙන්න බැහැ කිව්වෙ කියන්න?" මම අසත්ම, ඈ මගේ නෙත් දිහා යලිත් වරක් කෙලින්ම බලා, දිව යන්නට විය.
"ආන්යා..........." මට ඉබේටම වාගේ හඬ නැඟුනි. පරිසරයේ නොයෙක් හඬවල් සමඟ මාගේ හඬද වියැකී යනු මට හැඟුනි. ඈ යන දිසාව දෙස තිගැස්මෙන් මෙන් බලා සිටි මා හට ඇගේ ඡායාවත් මදකින් මැකී යනු දැනුනි. ආන්යා, නමක් පමණක් මා හට ඉතිරි කර ගිය ඇගේ රුව මගේ මතකයෙහි රැඳෙන්නට විය. "ආකාශ්, අහස... තාම මේ අහසෙ දම් පාටක් තියෙනවා.." ඇගේ වදන් මගේ හදෙහි රැව් පිලිරැව් දෙන්නට විය.
කෙමෙන් මාගේ ගත වෙත සිත ලඟා විය. ඔරලෝසු කණුව දෙස බැලූ වහාම, වෙනදා ගෙදරට වන කාලයත් පසු වී ඇති බව පසක් විය. පය ඉක්මන් කර කොටුව තුලින් පාරට වීමි. තවමත් ඇගේ හඬ, ඇගේ වත මහද සැරිසරන බව හැඟී, නැවත වරක් හැරී, අප හුන් කොටු පවුර දෙස නෙත් හෙලීමී. අවකාශයට මුසු වුනු ඈ කවුරුදෝයි මට තවත් සිතා ගත නොහැක. එවැනි හඬක්, රුවක් පෙර නොදුටු බව මට සක්සුදක් සේ විශ්වාසය.
ආන්යා, ගාලු කොටුවට ඉන් පසු පාතබන වාරයක් පාසා මම ඔබ සොයමි. ඔබේ හඬ රැදි පවනක් සවන වැකෙන තුරු මඟ බලා හිඳිමි. සඳ කිරණෙන් නැහැවුනු ඔබේ වත දකිනට මම අදද පෙරුම් පුරමි. මගේ පාළුව මකාලන්නට, පාවෙන මා සිත ලබන්නේ ඔබමයැයි මා පතමි... ආන්යා...
______________________________________________________________
සිද්ධියෙහි ලියවෙන පළමු කෙටි කතාව. ඔබේ අදහසත් සටහන් කර යන්න... යෙදූ නම්, සිතෙහි මැවුනු නම් පමණක් බව සලකන්න... ස්තූතියි...
ReplyDeleteලස්සනයි :)
ස්තූතියි..
Deleteඅමුතුයි කතාව. ලස්සනයි.
ReplyDeleteස්තූතියි..
Deleteආන්යයි ආකාෂුයි....හ්ම්ම්ම්..
ReplyDeleteකතාව ලස්සනයි නිමිල.අමුතු ස්ටයිල් එකක්.
ස්තූතියි... :)
Deleteආන්යා නියමයි (Y)
ReplyDeleteඅමුතුයි ඔයා ලියන ස්ටයිල් එක ජය..!
:)ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
ReplyDeleteමම සමකය වටේ ලියන නලින්