රඟන්නී ඈ...

10 දැනට තැබූ සටහන්

විහිදීය ඈ තාලයට පාද පොඩි,
සුළඟ හා පොර බදමින්,
සංගීත ස්වරයක වෙලෙමින්,
ලොවක බර මොහොතකට අමතක කරමින්...
අරුත සොයන ජීවිතයට,
නිමක් නොපෙනෙන, තෙරක් නොදැනෙන,
ගමනක එක නිවහනක්යැයි සිතමින්,
දුටු දෙනෙත් වසඟයට ගනිමින්,
සවන් යොමු කර වැයෙන තාලයට,
නටත් ඈ ලොවම ඉදිරියෙන්,
නැත සිතේ එකදු බැඳුමක වගක්,
සොයන්නට කෙනෙක්?
ඈ කවුද?
කසුකුසුව වැඩිවෙත්ම හැරී බලත් ඈ ඔවුන් දෙස,
මාත් ඔබමය, ඔබේ දුවමය, ඔබේ ප්‍රියාවියමය,
අද මට මගෙන් අවසර ලැබුනි, මා හටම මොහොතකට,
මොහොතක මිදෙන්නට, මට මගෙන් මිදෙන්නට...
සංගීතය... මේ සොඳුරු නැටුම පියාපත් දුනි මා හට...
මිදෙන්න, වරකට හෝ.. ඔබෙන්...
ගයන්න ගීයක්, ලියන්න කවියක්, රඟන්න රැඟුමක්...
හඬ ගෑය ඈ... බලා සිටි, මුව අයා සිටි ඔවුන් දෙස...

සිත් පවුරු

6 දැනට තැබූ සටහන්

රේඛා සටහන් එකිනෙක ඇඳිනි,
සිත් පවුර මත,
ඔබ අතින්, මා අතින්,
ඔබ හස රැඳුනි මතකයෙහි රූ රටා,
නෙතු අග රැඳි කැඳුළු කැටක වෙන්වී යන,
හිරු කිරණක් මෙන්,
වර්ණ විහිදීය,
මා හද පුරා,
ඔබ තෙපලූ වදන් කොඳුරයි තවත්,
සිහිනෙන් හෝ ඔබ දැකගන්නට,
සරමි නෙතු අයා,
දක්නා සෑම නෙතු සඟලතර,
සෙවීමි ඔබ දෙනයන ,
තවත් වරක් දැක ගන්නට,
රැඳෙන්නට,
සැනහෙන්නට,
ඒ මතකයට සමුදෙන්නට,
මා හද පවුරු බිඳලූ විජ්ජුලතා,
මාළිගය අතැර යන්නට,
පවුර බිඳලන්නට කාලයයි...

හද උමතුවෙන්

2 දැනට තැබූ සටහන්

 හිතට හොරා කොහෙදින් ඇවිදින්,
ලඟට වෙලා කියනා කියුමන්,
නෙතඟ බලා හිඳ පෙම් හැඟුම්,
දුරකට වෙන්නට බෑ අදනම්...

කෝළ බැලුම් නුඹ හදහි දරා,
මසිත සරා නුඹ උමතු වෙලා,
නඟන සිනා වැල් දෝරෙ ගලා,
ඔබ මගෙමැයි යැයි මට හැඟුනා...

වස්සානේ පිනි පොද මැදින්,
කැටි කරන් එන මල් හැඟුම්,
ලපළු තුරු වියනටින්,
ඇවිද යන්න ඔබ හිත අරන්,
මතුකරන් අද හැඟුම්...
මා ඔබෙයි හද උමතුවෙන්...

ගොළු හදවතක්

4 දැනට තැබූ සටහන්

සිත අවදිවේදැයි නොහැඟෙන යාමයේ,
නෙතු මානයේ මතක් වැල් ඇඳුනාවේ,
ඔබ නොපිපුනු මෙ රාත්‍රියේ,
කුමුදු මල් නොපිපුනාවේ...

ඇඳෙන සිත්තම් එකිනෙක බලා,
ඔබ හිනැහුනා මතකයි,
මැකුන සිත්තම් කඳුළු කැට යට,
සුසුමක් හෙළුවා මතකයි.
නැඟෙන සෝ ගිනි මකා හරිනට,
පියැඹුවා මතකයි....

මලේ අද නුඹ කොයිද සොයම්,
සිහිනයක වෙලි සොඳුරු නෙතු සිතුවම්,
ප්‍රේමයේ හසරැල්,
නොහඳුනන ගොළු හදවතක් අද...
නොමැතිදැයි ගැයුමන්..
සියොතුනේ අද නොමැතිදැයි ගැයුමන්.....

යන්න

6 දැනට තැබූ සටහන්

කතරට ලංවූ සිත,
වෙහෙස දරනට අරන් බර කරට,
මඟ වැරදුන සමනලියක තටු සිඳුනි මෙලෙක තැන,
අපා දුක් විඳ, යනෙන මඟ නොදැන,
යන්නට වූ තැන කොතැන,
උපන් බිම හැර ඔබට...

වරද කොතැනද,
සෙව්වද අද ඈ නැත...
කන්නලව් කල දෙවියන් ඉදිරිපිට,
අසරණ වුනි ඈ අද...
යනෙන මඟ රැකුමට,
සිටින උන් කෝ කොහිද?

යන තැනෙක සුපිපි මලක් වෙන්න,
දකින තැන සැපවත් කරන්න,
යනෙන තැන ඔබට සුව එන්න,
රිසානා, සොයුරියේ අද ඔබ යන්න....

අළුත් අවුරුද්දට....

10 දැනට තැබූ සටහන්

වත් අවුරුද්දක් ගෙවිලා ගිහින්... මායාවරුන්ගෙ දිරච්ච කඹය(ලණු කියලා මදි නිසා), ඔබාමා මහත්තයා ආයෙත් පුටුවට ඒම, ලන්ඩන් ඔලිම්පික් උළෙල, අපි ආයෙත් කප් ෆයිනල් එකේදි ඇදගෙන නෑම වැනි පුදුමාකාර සිද්ධි ගොන්නක් මැදින්, 2012ත් හොරෙන්ම පැනලා ගිහින්...
         වරදක් නැති අවුරුද්දක්, ආපස්සට හැරිලා බලද්දි වෙනස් කරන්න පුළුවන්නම් කියල හිතුන දේවල් දෙක තුනක් තියෙනවා... මං හිතන්නෙ හැමෝටම එහෙම වෙන්න ඇති. සිද්ධ උන වැරදි හදාගෙන ඉස්සරහට යන්න හැමෝම හිතන් ඇති කියලා හිතනවා...

         ආදරේ කරා, අළුත් යාළුවො හදාගත්තා, රන්ඩු උනා, යාළු උනා... මේ හැම දෙයක් එක්කම මගේ අතින් අළුත් සිද්ධියක් ලියවුනා... ඒ හැම සිද්ධියක් එක්කම මාත් එක්ක එකට හිටිය මගේ මිතුරු කැලට ගොඩාක් ස්තූතියි... හැමදාම වෙනස් වෙන, හැමදාම අළුත් වෙන ජීවිත පිටු අතරට, මගේ පද පේලියකින් මොකක්හරි අල්ප මාත්‍රයක් හෝ එකතු උනානම්, සිද්ධිය ලියන මට ඒක ලොකු සතුටක්....

         ඉස්සරහටත් මම දකින, මට දැනෙන බොහොමයක් දේවල් අළුත් සිද්ධි වෙලා සිද්ධියෙ පිටු අතරට එකතු වේවි... ඒ හැම තැනකදිම මාත් එක්ක ඉඳිවි කියලා මම ආසාවෙන් බලන් ඉන්නවා... ගෙවිලා ගියපු අවුරුද්දෙ මතකයත් හිතේ දරාගෙන, අළුත් අවුරුද්ද ආදරෙන් පිලිගනිමු...

සිද්ධියත් එක්ක රැඳෙන ඔයාලා හැමෝටම, සුභම සුභ නව වසරක් වේවා...

අද

12 දැනට තැබූ සටහන්

ඔබ අතගෙන, අතැඟිලි පටලා,
පියමැන්නෙමි ඒ සොඳුරු මාවත මතින්,
උරිස මත්තෙන් තැබූ ඔබෙ හිස අග,
දඟකරන කෙස් රැල්ලක පැටලී එන,
මන්ද මාරුත ඉම දෙස බලා සිනාසුනෙමි,
අද...

වෙනදා සොඳුරු බස් තෙපලන ඔබ මුවඟ,
නිහඬ ඇයි අද සොඳුර,
හිස හොවා මා ළය මත,
පියා නෙතු සඟල,
තුරුලු වී ඔබ හුන් මතකය,
අමතක කරම් හෙට මා කෙලෙස?

සිතිජ ඉම සිප එන,
මාරුතය කෙඳිරූ ඒ සොඳුරු වදන් පෙල,
අහවර කලා දිවා රුදු වූ හිරු රැස,
ඔබ අත ගෙන,
නැවතත් පියමනිනට ආසයි,
ඒ මාවත,
ඒ මතකය,
ආදරයෙන් යලි වරක්,
සිහිකරනු පිණිස....

සිද්ධියේ මුදුනට